Pages

Wednesday, February 2, 2011

උණුසුම් වැස්ස




මම දවසේ වැඩ නිමා වී නිවෙස බලා ගමන් ගනිමින් සිටියෙමි. සීත සුළඟ හා මුසු ව ඇද හැළුණු අකල් වැස්ස මහත් ඝෝෂාවක් නඟමින් තිබිණි. බස් රියෙහි කවුළු අතරින් ඉහිරුණු වැසි දියත්, අවට සිටියවුන්ගේ තෙතබත් වූ ඇඳුමින් වැගිරුණු දිය බිඳුත්, ධාරානිපාත වර්ෂාව හමුවෙහි මා පැරදවීමට ගත් උත්සාහය සඵල වෙමින් පැවතිණි.

වේලාව රාත්‍රී අට පමණ වන්නට ඇත. නිවෙස් බලා දිවෙන දිගු වාහන පෝළිම දැඩි වර්ෂාව හේතුවෙන් තව තවත් මන්දගාමී විය. නිවෙසට ගොස් උණුසුම් කෝපි කෝප්පයක් රස විඳිමින් සීතල මඟ හරවා ගැනීමට තවත් හෝරා කීයක් ගතවේ දැයි මම ලතැවෙමින් සිටියෙමි.


ඒ වන විට බස් රිය වැව පසු කරමින් තිබිණ. වාහන තදබදය යනු කෙතරම් අප්‍රියජනක අත්දැකීමක් වුව ද, වැව අසළ වාහන තදබදයට මම කැමැත්තෙමි. මක් නිසාද යත්, වැව් තෙරෙහි නිතැතින් මැවෙන චමත්කාරජනක දර්ශන විඳීමට එය මට ඉඩ සලසන හෙයිනි. දිය නෑම පිණිස වඩිනා හස්තීන් ද කෙටි කලකට කඳවුරු බැඳගන්නා අහිකුන්ඨික ජන කණ්ඩායම්ද වැව් තෙරට මහත් අසිරියක් එක් කරන නමුත්, මෙවන් කටුක වර්ෂාවක් ඇති රැයක එවැනි අසිරියක් මම අපේක්ෂා නොකළෙමි. අනපේක්ෂිත දසුනින් විමතියට පත් මම වැසි නොතකා කවුළුව මඳක් විවර කළෙමි.

වැව් ඉවුරෙහි වූ රුක් අත්තන ගස පාමුල වූ බංකුවක දෙදෙනෙක් සිටියෝය.
පියෙක් සහ පුතෙක්...
ඇද හැලෙන මුරුගසන් වරුසාවෙන් වසන් වීමට ඝනව වැඩුණු රුක් අත්තන ගස පාමුල පියෙක් තම දරුවා සඟවාගෙන සිටියේය. තම පියාගේ ලයට තුරුළුව සිටි දරුවා වරින් වර හිස ඔසවා තම පියා වෙත හුරතල් සිනාවෙන් යමක් පැවසීය. තම පියාගේ ආදරය නම් සෙවිල්ලෙන් සැනහුණු ඒ කුඩා දරුවාගේ සිනහවත්, අසීමිත වූ පිතු සෙනෙහසක මහිමයත් අමෝරා වැස්සක් මැද ම හදට උණුසුමක් එක් කළේය.

No comments:

Post a Comment