අධ්‍යාපනය පිළිබඳ හාස්‍යයට කරුණක් මතු කරමින් 'ජුවානිස්ගේ අපේ කතා' නමින් මූලාශ්‍රය පැහැදිලිව සටහන් නොවූ කතාවක් ෆේස්බුක් හි පලවී තිබෙනු දුටිමි. ඒ පිළිබඳ කිසිවක් නො ලියා සිටින්නට හිත හදාගන්නටම නො හැකි වූ හෙයින් මෙසේ ලියමි.
අනුන් ඇස ඇති පොල් කෙන්ද දකින්නන් තමන් ඇස ඇති පොල් පරාලය නොදකින්නේයැ යි කියන්නේ මෙවන් ඒවාටය.
මෙම ලිපිය කියවන්නට පළමුව මේ සඳහා වස්තු වූ පහත උපුටා ගැන්ම කියවා සිටින මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.

කවුද රාවණාගෙ දුන්න කැඩුවෙ?
කවුද හැබෑටම?
අනේ මම නම් නො දනිමි. මම නම් රාවණාගේ දුන්නක් කැඩූ අයෙක් පිළිබඳ ඉතිහාස කතාවක් අසා නැත්තෙමි. නමුත් සීතා කුමරියගේ පිය රජතුමා වූ ජනක රජු තම දියණියට සුදුසු ස්වාමියෙක් තේරීම පිණිස ශිව දෙවියන් වෙතින් ඔහුට භාර ව තිබූ දුන්නක් එසවීමට හැකියාව ඇත්තෙකු සෙවූ බව අසා ඇත්තෙමි. තව ද එහිදී එම දුන්න එසවීමට හැකි වූයේ රාම කුමරුන්ට පමණක් බවත්, ඔහු එය එසවීමෙන් නො නැවතී දෙව් ලොව සලිත කරවමින් එය දෙ කඩ කළ බවත් අසා ඇත්තෙමි. ඒ හැර රාවණා රජුගේ දුන්නක් ගැන නම් මම අසා නැත්තෙමි.
හාස්‍යය හොඳ ය. හාස්‍යය පිණිස පළ කරන ඒවා කියවා මැක්සා, පට්ට, එළ යැයි විවේචන දැමීමද හොඳ ය. නමුත් සිසුවා, ගුරුවරයා, විදුහල්පතිතුමා හා අධ්‍යාපන අමාත්‍යාංශය ද හාස්‍යයට ලක් කරමින් දොඩවන ජුවානිස් ද දුන්න කාගේ දැයි නො දැනීම නම් හාස්‍යයට කෙසේ වෙතත් කණගාටුවට කරුණක්ම වන්නේ ය.
෴