මම හතරැස් ගොඩනැගිල්ලක් තුළ වූ හතරැස් ශාලාවක කෙළවරකට ආසන්නව තබන ලද හතරැස් මේසයක් අසළ හිඳ මේසය මත වූ පරිගණකයේ හතරැස් තිරය දෙස නෙත් යොමා සිටිමි. නො නවත්වා එදෙස බලා හිඳීම දෙනෙතට වේදනා ගෙනෙයි. එහෙයින් හිස ඔසවා ඉදිරිය බලමි.
හතරැස් තීරු වලින් සැදුම් ලත් තිරය, පිටස්තර ලොව මගෙන් සඟවයි. තිරය මත පතිත වන දීප්තිමත් ආලෝකයක් එහි වූ සියුම් හතරැස් මෝස්තරය ඉස්මතු කරයි. වායු සමන යන්ත්‍රයෙන් නිකුත් වන සුළං දහරින් මඳ වශයෙන් සැලෙන තිරය මත නටනා හතරැස් නොවන සෙවනැලි සමූහයක් මා නෙත ගැටෙයි. ඒ කුමක්දැයි දකිනු රිසියෙන් තිරය මඳක් මෑත් කොට බලමි.
නැගෙන හිරුගේ කාන්තිමත් රශ්මිය ම සිතට ප්‍රබෝධයක් ගෙනෙයි...
අතු පතර විහිදුණු අඹ ගසෙක කෙළින ලේන පැටවුන් ම සිතට සතුටක් ගෙනෙයි...
මඳ සුළඟට කීකරුව සැලෙන උණ පඳුර ම සිතට සැහැල්ලුවක් ගෙනෙයි...
හතරැස් කවුළුවෙන් එපිට ලෝකය කෙතරම් හැඩකාරදැයි මට සිතෙයි!
෴
෴
No comments:
Post a Comment