මම 'මම' ගැන
මම මෙවන් නමක් ඇති, මෙවන් රුවක් ඇති පුද්ගලයකු යැයි මා හඳුන්වා දීම නොහොබී යැයි මම හඟිමි. ඒ, නමින් මා නොහඳුනන අය සිටින නිසා හෝ මා රුව එතරම් ආකර්ශණීය නොවන නිසාම නොව, අසංඛ්‍ය වූ මානව නාම රූපයන් වැළලී ඇති හා මතුවටත් වැළලෙන මේ මහ පොළෝ තලය මත, මා හා සම නමින් හා රුවින් යුතු දහස් ගණන් ජීවීන් පය ගසා සිටීමට ඇති සම්භාවිතාව නිසාය. තව ද, මම මෙවන් සමාජ පසුබිමක් ඇති, මෙවන් අත්දැකීම් හා හැකියාවන් සහිත පුද්ගලයකු යැයි හඳුන්වා දීම ඊටත් වඩා අර්ථ ශුන්‍ය වනු ඇත. මක් නිසාද යත්, ජාති-ආගම්-සමාජ පසුබිම් ආදියෙන් ස්වායත්තව මෙලොව වසන සියලු ජනයා මූලික වශයෙන් එකම ජීවන චක්‍රයකට හසු වන හෙයිනි.
මම කුඩා දරුවනට මහත් සේ ඇළුම් කරන්නෙක්මි. ඒ කුඩා දරුවන් ජීවමාන දෙවියන් හා සම හෙයිනි. බාහිර පරිසරයෙන් නොකෙලෙසෙන තාක් කල් ඔවුන් මනස පිවිතුරු හෙයිනි. ආශාවන්ගෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් තොර වන හෙයිනි. නමුදු මෙලොව තුළ රඳා පැවැත්ම උදෙසා යම් අයුරකින් කෙලෙසීමකට ලක් විය යුතු බව පිළිගත යුත්තකි. මෙලොවට බිහිවන, හදවතක් ගැබ් වූ මස් වැදැල්ලක් තුළ සොබා දහම විසින් ආශාවේ අංශු මාත්‍රයක් සඟවයි. ඉන් නොසන්සුන් වන බිළිඳා වැළපෙයි. තම ප්‍රථම භෞතීය ආශාව වන මවුකිරි ඉල්ලා වැළපෙයි. රුහිරු පුරා දිවෙන අසීමිත කරුණාවෙන් මව තම දරුවා පෝෂණය කරයි. ආශාවන් ගැබ් කරයි. ජීවිතයට පණ පොවයි. මෙසේ දෙමාපිය ආශාවන් උරා ගනිමින් ගොඩනැගෙන බිළිඳූන් මම දැක ඇත්තෙමි. ඔබ ද දැක ඇතුවාට සැක නැත. නමුදු කිසිම දිනෙක නිරීක්ෂණය කොට ඇත්ද ඔබ, බහ තෝරන වියේ දරුවන් තමා හඳුන්වන'යුරු!
"අම්මි, බබාට දොයිමතයි අම්මි"
ආදී වශයෙන් ප්‍රථම පුරුෂෙයන් ඔවුහු තමා හඳුන්වති. මෙසේ තමාගෙන් බැහැරව තමා හඳුන්වනු ලබන්නේ, මම යන සංකල්පයට නිරාවරණය වීමට තරම් ඔවුන් ලාබාල වැඩි නිසා මුත්, එහි සැඟවුණු සොඳුරු නිර්මල බව මහදට පසන් හැඟුමක් එක් කරයි.
මිනිසා තම ආකල්ප මත පදනම්ව ඇගයීම් කරයි. ආකල්ප යනු, තමා විසින් නිවැරදි යැයි සලකා එල්බ ගත් සම්මතයන් සමූහයකි. යම් කිසිවෙකුගේ ඇගයීම් පද්ධතියෙහි හෝ ආකල්පයන්හි මූලාරම්භය කොතැනකද? මම මගේ මුල සොයමි. කුඩා කල ඇතැම් විට සාරය-අසාරය අතර මා වික්ෂිප්ත වූ බව මට මතකය. එහෙයින් මම විශ්වාසනීය දර්ශකයක් අනුගමනය කළෙමි. ඒ මගේ තාත්තාය. තාත්තාට යමක් හරිද, ඒ මට හරිය. තාත්තාට යමක් වැරදිද, ඒ මට වැරදිය. මගේ සම්මතය එය විය. ආකල්ප ගොඩනැගීමේ මෙම ක්‍රමවේදය හේතු කොට ගෙන මා හාස්‍යයට ලක් වූ වාර එමටය. එනමුදු, කවුරුන් කෙසේ කීවත්,කවුරුන් පිළිගත්තත් නොපිළිගත්තත්, සියල්ලන්ගේ මූලාරම්භය ඊට සමාන යැයි මම විශ්වාස කරමි. මෙලෙස ගොඩනගා ගන්නා ආකල්ප මත විකාශනය වන මිනිසා තමා වෙත වටිනාකමක් ආරෝපණය කරගනිමින්, තමා අනුනට වඩා වෙසෙස් පුද්ගලයකු යැයි ප්‍රදර්ශනය කිරීමට දරන තැත කෙතරම් පුහු ආකල්පයක් දැයි විටෙක මට හැඟේ.
මෙලොව, මමය මාගේය කියා ආත්මීය කොට ගත හැකි කිසිවක් නොමැති යැයි තථාගතයන් වහන්සේ වදාළහ. එහි අරුත සපුරා වටහා ගැනීමට මා අපොහොසත් වුව ද, මා හා සබැඳි බොහෝ දේ මගේ පාලනයෙන් තොර බව මට හැඟී ඇත. මම යන පුද්ගලයා නිර්වචනය කිරීමට හෝ අන්‍යයන්ට හඳුන්වා දීමට මා අපොහොසත් බව මට හැඟී ඇත. මා හඳුනාගත නොහැකි ලොවක මා මංමුලා වී ඇති බව මට හැඟී ඇත.
෴
Great one Madhavi
ReplyDeleteClear meaning
ReplyDelete