Pages

Thursday, September 1, 2011

කෑල්ල

මම පුංචි කාලෙ මෙන්න මෙහෙම කතාවක් අහල තියෙනව මතකයි.

"මනුස්සයාව මැවුවෙ දෙවියන් වහන්සේලුනේ. ඒ මවද්දි මැව්වෙ පිරිමියා හා ගැහැණිය
කියලා දෙන්නෙක් නෙමෙයිලු. ඒ දෙන්නම එකට එකතු වුණු එක රූපයක්ලු. කාලය ගත වෙද්දි ඒ රූපෙ මුහුණත් දෙක කොයිවෙලෙත් රණ්ඩු කරගන්නවලු. දෙවියන් වහන්සෙට නිදහසක් නැති වුණාලු හැම තිස්සෙම රණ්ඩු බේරන්න සිද්ධ වුණු නිසා. ඉවසල ඉවසල බැරිම තැන දෙවියන් වහන්සේ ඒ මුහුණත් දෙක දෙකට වෙන් කළාලු ගැහැණියයි පිරිමියායි කියලා. කෝකටත් කියලා ඉදිරියට වෙන්න තියෙන කරදර මගහරව ගන්නත් එක්ක ඒ මුහුණත් දෙකත් සමමිතිකව බෙදෙන්න ඉරක් ඇඳලා දෙවියන් වහන්සෙ කිවුවලු ආයෙමත් ආරවුල් ඇති කරගත්තොත් තොපි ව මෙන්න මේ ඉර දිගේ තමයි ඊළඟට පලන්නෙ කියල. ඒත් ඒ මුහුණත් දෙක එහෙම වෙන් කළාට පස්සෙ එයාලට අනික් මුහුණතේ අඩුව තදින් දැනෙන්න පටන් ගත්තලු. ඒ ගමන තමයිලු හැම කෙනාම තමන්ගෙ අනික් මුහුණත හොයා ගන්න වෙහෙසෙන්නෙ."

සිංහලයේ අවිවාහක පුද්ගලයන් සම්බන්ධ ව යෙදෙන වචනයක් තමයි තනිකඩ කියලා කියන්නෙ. කඩ කියලා හඳුන්වන්නෙ කෑල්ල කියන අදහස නිසා පුංචි කාලෙ මට හිතුණා දෙවියන් වහන්සේ අර මිනිසා දෙකඩ කළ කතාව ඇත්තක්මයි කියලා.

මේ කතාව මගෙ හිතට ආයෙමත් ආවෙ පහුගිය දවසක නොයෙක් සත්තුන්ගෙ ගෑණු සතාගෙ නම ගැන ඇති වුණු කතා බහකදි. එතනදි කතා වුණු එක දෙයක් තමයි මාළුවගෙ ගැණු සතා මාලු කෑල්ල කියන එක. මාළුවගෙ ගැණු සතාට මේ නම ලැබිලා තියෙන්නෙ සමහර වෙලාවට ගෑණු ළමයින්ට කෑල්ල කියලා යෙදෙන ව්‍යවහාරය හින්දා. මේ යෙදීම ඇතැම් විට අශීලාචාර හෝ නොහොබිනා ලෙස සැළකුණත්, මුළින් කී කාරණා එක්ක සලකලා බලද්දි ඒකෙ අමුතු රසයකුත් තියෙනව කියල වෙලාවකට හිතෙනව. ඒත් ඉතින් ඒ රසය එක කෑල්ලකට විතරක් නෙමෙයි, අනිත් කෑල්ලටත් වලංගුයි කියල 'මට හිතෙන හැටි' කියවන අයත් හිතුවොත් තමයි හොඳ!


No comments:

Post a Comment