Pages

Monday, October 15, 2012

රංජි



ඔහුගේ නම අප දැන සිටියේ නැත. සියල්ලන් ඔහු ඇමතුවේ රංජි යන නමිනි. ප්‍රදේශයේ බොහෝ නිවෙස් වලට රංජි නැතිවම බැරි චරිතයක් විය. වතු පිටි එළි කිරීම්, ගෙබිම් කැපීම් ආදී පවරන ලද ඕනෑම කුලී වැඩක් කිරීමෙන් රංජි දරුවන් පස් දෙනෙකුගෙන් යුත් තම පවුල රැක ගත්තේ ය.

විශාල බෑවුම් සහිත වූ මගේ නිවස පිහිටි ඉඩම මුළුමනින් ම සමතලා කරන ලද්දේ රංජි විසිනි. කිසි දිනෙක පීරන බවක් නො පෙණෙන රැළි ගැසුණු දුඹුරුවන් හිස කෙසින් ද, බුලත් සැපීමෙන් ම කළු ගැසී ගිය කැඩුණු දත් දෙපෙළකින් ද යුතු වූ ඔහු, ලණු පොටකින් ගැට ගසාගත් කොට කලිසමක් (එය ද කොහෙන්දෝ ලැබුණු දිග කලිසමක කකුල් කපා සාදා ගත්තකි.) හැඳ තම වැඩ කොටස අරඹයි. දවස පුරා තම ගත වෙහෙස කරවූව ද, සැම විටම අහිංසක සිනහවකින් ඔහුගේ මුව සැරසී තිබිණ. විහිළු තහළු හා මුකරි කතා වලින් ඔහු සිය වෙහෙස නිවා ගත්තේ ය. කැලෑ වැවුණු ඉඩමක් එළි කිරීමට යන ඔහු ආපසු එන්නේ කැලයට වැඩුණු, කෑමට ගත හැකි සියළු දේ එකතු කරගෙන ය. ඒ අතර කිරි අල, මඤ්ඤොක්කා දළු, පෙනෙළ වැල්, කෙසෙල් මුව ආදී නොයෙක් දේ වෙයි. "මේවා රංජි ගෙනියන්න" යැයි ඉඩම අයිතිකරු පවසන පමාවෙන් ඔහු ඒ සියල්ල පරණ පෝර උරයක බහාගෙන වහා තම පැ පැදියේ ගැට ගසා ගන්නේ නිවෙසේ තමා වෙනුවෙන් බලා සිටිනා දරු පැටවුන් වෙත ගෙන යාමට ය.

රංජි අප නිවසේ අවසන් වරට වැඩ කළේ මීට වසර දෙකකට පමණ ඉහත දී ය. ඒ වැසි සහිත කාලයක් විය. එකල රංජිගේ කකුලෙහි විශාල තුවාලයක් විය. ඊට නිසි බෙහෙතක් කර ගැනීමට වත්කමක් නොවුණු හෙයින් ද, දිනක විවේකයක් යනු සත් දෙනෙකුගේ තුන් වේලක කුසගින්දරක් වන හෙයින් ද, ගොඩ වෙදකම් ලත් තුවාලය පැසවමින් තිබිණ. මහ වර්ෂාවේ පස් කැපීම නිසා තුවාලය තව දුරටත් නරක අතට හැරෙමින් තිබිණ. පසුව තාත්තාගේ මැදිහත් වීමෙන් ඔහු දොස්තර මහතකු වෙත ගෙන ගොස් බෙහෙත් ලබා දී දින කිහිපයක් පවුලේ නඩත්තුවට වියදම් සැපයීමෙන් ටික දිනකින් ඔහුගේ තුවාලය සුව විය. ඉන් පසුව ආ සිංහල අලුත් අවුරුද්දට රංජි ඉස්ඉස්සෙල්ලාම පැමිණියේ අපේ ගෙදර ය. ඒ වන විට ඔහුගේ කකුලේ තුවාලයක කැළලක් හෝ නො වුණු නමුත් වරින් වර කකුල හිරි වැටෙන ස්වභාවයක් ඇති බව රංජි අප හා පැවසීය.

තවත් වසරක් පමණ ගෙවී ගියේ ය. හදිසියේ අසන්නට ලැබුණු පුවතින් අපි කම්පනයට පත් වීමු. රංජි කොස් කඩන්නට ගසකට නැඟි විටෙක එයින් වැටී මිය ගොස් ඇත. කකුලේ තිබූ හිරිවැටීම ඇතැම් විට එයට හේතු වන්නට ඇත. ගම් වැසියන්ගේ ද සහයෝගය ඇති ව අවසන් කටයුතු චාම් ලෙස පැවැත්විණි.

මෙසේ තවත් කාලයක් ගත විය. හදිසියේ ම ඊයේ රංජිගේ බිරිඳ හා එක් පුතෙක් අප නිවෙසට පැමිණියහ. අම්මාත් මමත් සිටියේ දිවා ආහාරය පිළියෙළ කරමිනි. අමුත්තන්ට තේ කෝප්පයක් පිළිගන්වා ආ ගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරු ව, රංජිගේ බිරිඳ තමා පැමිණි කාරණාවට පිළිපන්න ය.
"නෝනා, ලමයින්ට කන්න දෙන්න විදියක් නෑ. කීයක් හරි ඉල්ලගෙන යන්නයි ආවෙ!"

මා කෙරෙහි ම ඇති වූ පිළිකුල් සහගත බවක්, ශෝකයක් හා කෝපයක් සිත තුළ තෙරපී එකිනෙක හා පොර බදන්නට විය. ලෝකය පුදුමාකාර ය. රංජි ජීවත් ව සිටින තෙක් ඔහුගේ සේවය පැතූ සියළු පිරිස් අද නිහඬ ය. මම ද පුදුමාකාර ය. මම ද එවන් වූ ලෝකයක තවත් එක් අයෙක් බවට පත් ව ඇත.

සවස් වරුවේ දී කලමනා ගෙනැවිත් දෙන පොරොන්දුව පිට, දවාලට යමක් පිස ගැනීමට ප්‍රමාණවත් ලෙස හාල්, පරිප්පු, පොල් ආදිය ලබා දී අපි ඔවුන් පිටත් කළෙමු. සවස අපි එම නිවෙසට යද්දී, ප්ලාස්ටික් පිඟානකට බත් හා පරිප්පු අනා ගත් අවුරුදු හතරක පමණ කොලු පැටියෙක් "ඩෝසරේ දීපු අක්කා ඇවිල්ලා" කියමින් මා වෙත දිව ආයේ ය. ඇසට නැඟුණ කඳුල මැඬගැනීම කරමක් අපහසු වූයේ, ඒ දරුවාට වරෙක මම ඩෝසරයක් දුන් බව පමණක් ම නොව, එම දරුවන්නේ පැවැත්ම පිළිබඳ ව පවා මගේ සිතින් ගිලිහී යාම පිළිබඳ ව මා ගැන ම උපන් කළකිරීම නිසා ය.

දවස පුරා වෙහෙස වීම නිසා අම්මා අතින් සිදුවන මඟහැරීම්වලින් කෑම රසවත් නො වීම නිසාත්, කො තරම් කන්න ආසා නැතැයි කීවත් හැමදාම හදන වම්බටු හොද්ද නිසාත් බත්පත අතට ගන්නා ඇතැම් විටෙක දුකක් හා සියුම් කෝපයක් මුසු හැඟීමක් ඇති වුව ද, මින් මතුවට ඒ සෑම මොහොතක ම අර අසරණ කොලු පැටවුන්ගේ අහිංසක දෑස් මා දෙනෙත් අභියස හොල්මන් කරනු ඇත.


Monday, March 5, 2012

දුන්න කැඩුවෙ කවුද අහනව!


අධ්‍යාපනය පිළිබඳ හාස්‍යයට කරුණක් මතු කරමින් 'ජුවානිස්ගේ අපේ කතා' නමින් මූලාශ්‍රය පැහැදිලිව සටහන් නොවූ කතාවක් ෆේස්බුක් හි පලවී තිබෙනු දුටිමි. ඒ පිළිබඳ කිසිවක් නො ලියා සිටින්නට හිත හදාගන්නටම නො හැකි වූ හෙයින් මෙසේ ලියමි.
අනුන් ඇස ඇති පොල් කෙන්ද දකින්නන් තමන් ඇස ඇති පොල් පරාලය නොදකින්නේයැ යි කියන්නේ මෙවන් ඒවාටය.
මෙම ලිපිය කියවන්නට පළමුව මේ සඳහා වස්තු වූ පහත උපුටා ගැන්ම කියවා සිටින මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.



කවුද රාවණාගෙ දුන්න කැඩුවෙ?
කවුද හැබෑටම?
අනේ මම නම් නො දනිමි. මම නම් රාවණාගේ දුන්නක් කැඩූ අයෙක් පිළිබඳ ඉතිහාස කතාවක් අසා නැත්තෙමි. නමුත් සීතා කුමරියගේ පිය රජතුමා වූ ජනක රජු තම දියණියට සුදුසු ස්වාමියෙක් තේරීම පිණිස ශිව දෙවියන් වෙතින් ඔහුට භාර ව තිබූ දුන්නක් එසවීමට හැකියාව ඇත්තෙකු සෙවූ බව අසා ඇත්තෙමි. තව ද එහිදී එම දුන්න එසවීමට හැකි වූයේ රාම කුමරුන්ට පමණක් බවත්, ඔහු එය එසවීමෙන් නො නැවතී දෙව් ලොව සලිත කරවමින් එය දෙ කඩ කළ බවත් අසා ඇත්තෙමි. ඒ හැර රාවණා රජුගේ දුන්නක් ගැන නම් මම අසා නැත්තෙමි.
හාස්‍යය හොඳ ය. හාස්‍යය පිණිස පළ කරන ඒවා කියවා මැක්සා, පට්ට, එළ යැයි විවේචන දැමීමද හොඳ ය. නමුත් සිසුවා, ගුරුවරයා, විදුහල්පතිතුමා හා අධ්‍යාපන අමාත්‍යාංශය ද හාස්‍යයට ලක් කරමින් දොඩවන ජුවානිස් ද දුන්න කාගේ දැයි නො දැනීම නම් හාස්‍යයට කෙසේ වෙතත් කණගාටුවට කරුණක්ම වන්නේ ය.